දූෂණ චෝදනා එල්ල වී ඇති දේශපාලකයෙකුට අදාළ නඩු තීන්දුවක් එළඹෙන මැයි 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, එදිනට අත්පුඩි ගැසීමට සූදානම්ව සිටින ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින්ට දැනුම් දී තිබේ.ඊයේ (01) මහරගමදී පැවති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙම හෙළිදරව්ව සිදු කළේය. මෙම මැයි මාසය තුළ පමණක් ප්‍රධාන දූෂිත දේශපාලකයින්ට එරෙහිව දූෂණ චෝදනා නඩු 10ක් සහ අපරාධ චෝදනා නඩු 5ක් වශයෙන් නඩු 15ක් අධිකරණය හමුවේ පවතින බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
අප්‍රේල් 30 වැනිදා විභාගයට ගත් නඩුවක තීන්දුව මැයි 25 වැනිදා ලබා දෙන බව ප්‍රකාශ වී ඇති බවත්, එදිනට සිදුවන දේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ජනාධිපතිවරයා පැවසීය. තමන් කළ හොරකම්වල තරම දන්නා පිරිස් මේ වන විට කලබල වී සිටින බවත්, ඔවුන් ආණ්ඩුව වට්ටන බව පැවසුවද එලෙස ආණ්ඩුව වට්ටන්නට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














