මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) මහතා සිව්දින නිල රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු නිල සංචාරය මෙය වීම සුවිශේෂී වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය සඳහා මාලදිවයින් ජනාධිපති ආර්යාව සහ 20 දෙනෙකුගෙන් යුත් එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් ද එක්ව සිටිති. ඔවුන් මාලේ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 116 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි බව වාර්තා වේ.
ලබන 6 වනදා දක්වා මෙරට රැඳී සිටින මාලදිවයින් ජනාධිපතිවරයා, සිය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ආර්ථික, සංස්කෘතික සහ කලාපීය සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














