යුද පිටියේදී ලැබූ බරපතල තුවාල හේතුවෙන් සියයට සියයක (100%) පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටියද, නොසැලෙන වීර්යය තුළින් ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පූර්ණ රණක්ෂිතයට පත් නිලධාරියකු ලැබූ ඉහළම නිලය හිමි කරගත් මේජර් ජෙනරාල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP මහතා වසර 33ක සේවය නිම කරමින් ඊයේ (මැයි 02) විශ්‍රාම ගනු ලැබීය.
1993 වසරේදී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වූ ඔහු, 1994 වසරේදී දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත් විය. විශේෂ බලකා නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී 1997 ජනවාරි 09 වැනි දින පරන්තන් ප්‍රදේශයේ පැවති දරුණු ගැටුමකදී සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු බරපතල තුවාල ලැබීය. එම තුවාල හේතුවෙන් ඔහු 100%ක ස්ථිර ආබාධිත තත්ත්වයට පත් විය.
තම ශාරීරික තත්ත්වය බාධාවක් කර නොගත් මේජර් ජෙනරාල් උපේන්ද්‍ර කරුණාරත්න මහතා, සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ සේනාවිධායක ධුරය ඇතුළු වැදගත් තනතුරු රැසක් හොබවමින් යුද හමුදාවට විශාල සේවයක් ඉටු කළේය. සේවයේ නිරත වන අතරතුර ඔහු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද (MSc) හිමිකර ගැනීමට සමත් විය.
මාතෘ භූමිය වෙනුවෙන් දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් ඔහු තෙවරක්ම රණශූර පදක්කමින් (RSP) සහ නිකැලැල් සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමින් (USP) පිදුම් ලබා ඇත. ඔහුගේ විශ්‍රාම යාම සනිටුහන් කරමින් නාඋල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් සහිත උත්තමාචාර පිරිනැමිණි.














