ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම මගින් කිසිදු විධිමත් සන්නිවේදනයක් සිදුකර නොමැති බවයි. වත්මන් ජනාධිපතිවරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වයට බාධා එල්ල කරන බවටද ඔහු චෝදනා කරයි.
රාජපක්ෂ පවුලට සම්බන්ධ කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කරන කොමිසම, වත්මන් රජයට එරෙහිව එල්ල වී ඇති ගල්අඟුරු වංචා, කන්ටේනර් නිදහස් කිරීම සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා විමර්ශනය කිරීමට අපොහොසත් වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. අල්ලස් කොමිසම මහජන මුදලින් ක්‍රියාත්මක වන බැවින් මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශන පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
දේශපාලන අරමුණු මත පදනම් වූ මෙවැනි ක්‍රියාවලින් රාජපක්ෂ පාර්ශවය බිය ගැන්විය නොහැකි බවත්, අවශ්‍ය වුවහොත් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ඒ සඳහා සුදුසු ප්‍රතිචාර දක්වන බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා ඇත.














