කුමාර් සංගක්කාර පුහුණුකරු ලෙස කටයුතු කරන අයි.පී.එල් (IPL) තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායමේ බහුතර කොටස් අත්පත් කරගැනීම සඳහා ලෝක ප්‍රකට බිලියනපති ව්‍යාපාරිකයන් දෙපළක් ඉදිරිපත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස කණ්ඩායම මිලදී ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ ඉන්දීය වානේ ව්‍යාපාරික ලක්ෂ්මි මිට්ටාල් සහ එන්නත් ව්‍යාපාරික අදාර් පූනවල්ලා යන මහත්වරුන්ය. ඔවුන් මෙම ගනුදෙනුව සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.65ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 52,745කට අධික) දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව පැවසේ.
මෙම ගනුදෙනුවට අනුව ලක්ෂ්මි මිට්ටාල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කණ්ඩායමේ සියයට 75ක බහුතර අයිතියක් හිමිවන අතර, අදාර් පූනවල්ලාට සියයට 18ක අයිතියක් හිමිවීමට නියමිතය. වත්මන් හවුල්කරුවෙකු වන මනෝජ් බඩලේ ඇතුළු පිරිස සියයට 7ක කොටස් හිමිකාරිත්වය තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර ඇත. මෙම ගනුදෙනුව හරහා ඔවුන්ට රාජස්ථාන් රෝයල්ස් සන්නාමය යටතේ පවතින දකුණු අප්‍රිකාවේ ‘SA20’ සහ කැරිබියන් ප්‍රිමියර් ලීගයේ ‘බාබඩෝස් රෝයල්ස්’ යන කණ්ඩායම්වල අයිතිය ද හිමිවේ.
මෙම වෙළෙඳ ගනුදෙනුව සම්පූර්ණ වීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) සහ අනෙකුත් නියාමන ආයතනවල නිල අනුමැතිය හිමිවිය යුතුව ඇත. මෙම ගනුදෙනුව සාර්ථක වුවහොත්, ලෝකයේ වටිනාම ක්‍රිකට් කණ්ඩායම් අතර ඉදිරියෙන්ම පසුවන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පාලනාධිකාරිය තුළ ප්‍රබල වෙනසක් සිදුවනු ඇත.














