රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 16 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 213 ක මුදලක් මොවුන් විසින් වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇත. වංචාව තහවුරු කිරීම සඳහා මොවුන් විසින් ව්‍යාජ රැකියා ගිවිසුම් ද ලබා දී ඇති බව හෙළි වී තිබේ. සැකකරු මීට පෙර රුමේනියාවේ වසර 2 ක් රැකියාව කර ඇති අතර එම පළපුරුද්ද ජාවාරම සඳහා උපයෝගී කරගෙන ඇත.
රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් පලාගොස් කඩුගන්නාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟවී සිටි සැකකරුවන් දෙදෙනා රාජ්‍ය බුද්ධි අංශයේ (SIS) සහය ඇතිව මැයි මස 01 වන දින අත්අඩංගුවට ගෙන තිබේ. කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (මැයි 04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.














