කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේදී දියවැලකට හසුව දියේ ගිලී අතුරුදන් වූ 51 හැවිරිදි එක්දරු පියෙකුගේ මළ සිරුර අද (04) දහවල් සොයාගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචිව සිටි සුරේෂ් ලංකා නමැති අයෙකි. ඔහු සිය බිරිඳ, පුත්‍රයා සහ ඥාතීන් සමඟ ඊයේ (03) පස්වරුවේ දියනාමින් සිටියදී ප්‍රචණ්ඩ දියවැලකට හසුව දියඹ දෙසට ගසාගෙන ගොස් තිබේ.
තමන් දියඹට ගසාගෙන යද්දී තමන් බේරාගැනීමට ඉදිරියට පැමිණි සිය පුත්‍රයාට සහ අනෙක් තරුණයාට, දියවැලේ ප්‍රචණ්ඩත්වය හමුවේ ඉදිරියට නොපැමිණෙන ලෙස ඔහු කෑගසා පවසා ඇති බව පවුලේ සාමාජිකයෝ කම්පාවෙන් යුතුව ප්‍රකාශ කරති. සිය ජීවිතය අනතුරේ තිබියදීත් පුතුගේ ජීවිතය සුරක්ෂිත කිරීමට ඔහු මෙලෙස කටයුතු කර ඇත.
නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු, අද දහවල් ඔහු අතුරුදන් වූ වෙරළ තීරයටම දේහය ගොඩගසා තිබියදී හමුවී තිබේ. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.














