කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු ලෙස සැලකෙන හිටපු යුද හමුදා සෙබළෙකු වන මහේෂ් ඔබේසේකර ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (04) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකරු පදිංචි නිවසේ තිබී යුද හමුදා ඇඳුම් කට්ටල සහ ජීව පතොරම් අටක් සොයාගත් බවයි.
සැකකරු 2023 මැයි 02 වනදා සිට යුද හමුදා සේවයට වාර්තා නොකර සිටි අයෙකු බව හෙළි වී ඇත.
මොහු පර්යේෂණ කමාන්ඩෝ සලින්ත මාර්ගයෙන් ගණේමුල්ල සංජීව හමුවී ඇති අතර, මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
ජීව උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා තිබේද යන්න පිළිබඳව ද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය වැඩිදුරටත් නියම කළේය.














