වීසා කාලය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් තුළ සැඟවී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන පාලක ජනරාල්වරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වියට්නාම් ජාතිකයන් 48 දෙනෙකු සහ චීන ජාතිකයන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් වයස අවුරුදු 20 ත් 35 ත් අතර පසුවන්නන් වේ. මෙම කණ්ඩායමට පිරිමි පුද්ගලයන් 33 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු ඇතුළත් වන බව වාර්තා වේ.
ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් පවතී. මොවුන් සියලු දෙනා කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.














