මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, දෙරටේ ව්‍යාපාරික හමුව 2025 වසරේදී කොළඹදී පැවැත්විණි. මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්‍රවාහන හා වෙළඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවට දෙරටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අවධාරණය කළේ අඩසියවසකට වඩා වැඩි කාලයක් පුරා ගොඩනැඟුණු දෙරටේ මිත්‍රත්වය බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියට යාම තම අරමුණ බවයි. සංවර්ධිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ ඉලක්කය බව සඳහන් කළ ජනාධිපතිවරයා, යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල ආයෝජනය කරමින් මාලදිවයින සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික සබඳතාව නූතන ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. 2025 වසර අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිලා සුළි කුණාටු සමයේදී සහයෝගය දැක්වූ මාලදිවයින් රජයට සහ ව්‍යාපාරික ප්‍රජාවට කෘතඥතාව පළ කළ අගමැතිවරිය, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරන බව සඳහන් කළාය. එමෙන්ම, කොළඹ වරාය නගරය (Port City) තුළ මාලදිවයින් ආයෝජකයින් සඳහා විශිෂ්ට අවස්ථා පවතින බවද පෙන්වා දුන්නාය.
මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්‍රවාහන හා වෙළඳ අමාත්‍ය මොහොමඩ් සයීඩ් මහතා සඳහන් කළේ, මාලදිවයින සාම්ප්‍රදායික සංචාරක ගමනාන්තයකින් ඔබවා, අනාගතයට සූදානම් විවිධාංගීකරණය වූ ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බවයි.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන්ද එක්ව සිටියහ.














