මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේදී මරණයට පත් නිලධාරියාගේ නමට හානිදායක ලෙස අසත්‍ය ප්‍රකාශ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව දානමය කටයුතුවලින් පසු නීතිමය පියවර ගැනීමට ඔහුගේ පවුලේ උදවිය සූදානමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහා භාණ්ඩාගාරයේ සයිබර් ආරක්ෂණය ශක්තිමත් කිරීමට සහ අහිමි වූ මුදල් නැවත ලබා ගැනීමට රජය කඩිනම් පියවර ගෙන ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසන් කරමින් විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මියගිය නිලධාරියා විසින් පැමිණිල්ල සිදු කළ බවට විපක්ෂය කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර සත්‍ය වශයෙන්ම පැමිණිල්ල සිදු කර ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. අප්‍රේල් දහ වන දින කමිටු වාර්තාව ලැබුණු අතර, සිදුවීම පිළිබඳව අදාළ ආයතන දැනුවත් කර විමර්ශන කටයුතු මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වේ.
මෙම අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මියගිය නිලධාරියාගේ පවුලේ උදවිය දැඩි කම්පනයට පත්ව සිටින අතර අදාළ අයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිති.














