අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්වීමෙන් මාසයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පිහිටි තෙල් ගබඩා පර්යන්තයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තෙල් ගබඩා පර්යන්තය ඉලක්ක කරමින් මිසයිල 15ක් සහ ඩ්‍රෝන 4ක් එල්ල වූ බවත්, එරට ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් ඒවායින් බහුතරයක් ගුවනේදීම විනාශ කිරීමට සමත්වූ බවත් එමිරේට්ස් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් එහි විශාල ගින්නක් හටගෙන ඇති අතර, එහි සේවය කළ ඉන්දීය ජාතිකයන් තිදෙනකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
මේ අතර ඉරාන රජයේ රූපවාහිනි නාළිකාව සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් හෝ සැලසුමක් නොමැති බවයි. එසේ වුවද, එමිරේට්ස් රාජ්‍යයේ නිලධාරීන් තහවුරු කර ඇත්තේ මෙම ප්‍රහාරය ඉරානය දෙසින් පැමිණි බවයි.
මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක සහ බලශක්ති සැපයුම් අර්බුදය යළිත් කරළියට පැමිණ තිබේ.














