අපරාධ ලෝකයේ ප්‍රබලයකු වූ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ කුප්‍රකට සැලසුමේ මහමොළකාරිය කඩවත ප්‍රදේශයේ නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ අධිකරණය හමුවේ තහවුරු කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම කරුණු අනාවරණය විය.
ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය අධිකරණ භූමියට රැගෙන ඒම සඳහා නීති පොතක් ඇතුළත කුහරයක් සකස් කර දීම මෙම නීතිඥවරිය විසින් සිදුකර ඇත.
වෙඩික්කරු සතුව තිබී හමු වූ ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතේ අත්සන යෙදීම ද ඇය විසින්ම සිදුකර ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.
ඝාතනයට සම්බන්ධ 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට වෙඩික්කරු සමඟ අධිකරණ භූමියට පැමිණීමට අවශ්‍ය ආරක්ෂිත පසුබිම සලසා දී ඇත්තේ ද මෙම නීතිඥවරියගේ මූලිකත්වයෙනි.
මෙම අපරාධ ජාලයට අදාළව වැලිසර අධිආරක්ෂිත බන්ධනාගාරයේ පසුවන ‘දෙමටගොඩ චමින්ද’ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින තම සේවාදායිකාවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේදී පොලිසිය පමා වී ඇති බව සැකකාර නීතිඥවරියගේ පාර්ශවය අධිකරණයට පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සියලු සැකකරුවන් ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.














