2015 වසරේ යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තහවුරු කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලද්දේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා නිෂ්ප්‍රභ කරමිනි. අභියාචනා ඉදිරිපත් කළ විත්තිකරුවන් අතරින් සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරු වූ අතර තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට පනවා තිබූ දඬුවම් ඉවත් කිරීමට අධිකරණය නියම කළේය. මෙම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවකු මියගොස් ඇති බව ද වාර්තා වේ. මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 2017 වසරේදී යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුවේ විත්තිකරුවන් හත් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබූ අතර අභියාචනා ඉදිරිපත් වූයේ එම දඬුවමට එරෙහිවයි. 2015 මැයි මස 13 වනදා සිදුවූ මෙම අතිශය කනගාටුදායක සහ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ නීතිමය ක්‍රියාවලිය වසර 11කට පසු මෙලෙස අවසන් තීන්දුවකට එළඹ තිබේ.














