විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන්, ඒ පිළිබඳ පරීක්ෂණ බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් (Scotland Yard) පොලිසියට භාර දෙන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රංග නිශාන්ත මහතාගේ සිරුරේ බරපතළ කැපුම් තුවාල තිබියදීත්, ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කිරීමට පෙර පොලිසිය එය සියදිවි හානිකර ගැනීමක් ලෙස ප්‍රකාශ කිරීම සැකයට කරුණක් බව ඔහු සඳහන් කළේය. රජය පවසන කරුණු හමුවේ ආණ්ඩුවේ පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත්, මරණයට හේතුව සෙවීම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වගකීම වුවද මරණය සිදුවූ ආකාරය තීරණය කළ යුත්තේ මරණ පරීක්ෂකවරයා බවත් ඔහු පෙන්වා දුන්නේය. මරණය පිටුපස කිසියම් රහසක් පවතින බව පෙනෙන්නට ඇති බැවින් විදේශීය විශේෂඥ සහාය ලබාගත යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














