හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති එකඟතාවන්ට ඉරානය එකඟ නොවන්නේ නම්, එරටට එල්ල කරන හමුදා ප්‍රහාර ඉතා දැඩි ලෙස නැවත ආරම්භ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. තමාගේ Truth Social ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, දැනට පවතින යුද තත්ත්වය අවසන් කළ හැක්කේ ඉරානය අදාළ කොන්දේසිවලට එකඟ වුවහොත් පමණක් බවයි.
දැනට කලාපය තුළ තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය මැදපෙරදිග නොසන්සුන්තාව තවත් වැඩි කිරීමට හේතු වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය විසින් මැයි මාසයේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත් සමඟ ඇති වූ ආර්ථික බලපෑම සහ නාවික ගමනාගමනය අඩාල වීම හමුවේ මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ.
මේ අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ බාහිර තර්ජන පාලනය කර ඇති බැවින් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය ස්ථාවරව පවත්වාගෙන යා හැකි බවයි. පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කරන නෞකා හිමියන් සහ කපිතාන්වරුන් ඉරානයේ නව නීතිරීතිවලට සහයෝගය දැක්වීම පිළිබඳව IRGC නාවික හමුදාව ස්තූතිය පළ කර ඇත. X සමාජ මාධ්‍යය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කළේ නව රෙගුලාසි යටතේ ආරක්ෂිත සහ ස්ථාවර ගමනාගමනය සහතික කරන බවයි.














