ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (German Tech), වාහන කාර්මික පුහුණුව පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ලොව ප්‍රකට රොබට් බොෂ් (Robert Bosch) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙමඟින් මෙරට කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රොබට් බොෂ් ආයතනය වෙනුවෙන් එහි ඉන්දීය කලාපීය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ සන්දීප් කමාර් මහතා සහ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආර්.ඒ.ඩී.එස්. ශාන්ත යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ. නවීන මෝටර් රථ කර්මාන්තයේ අවශ්‍යතාවලට සරිලන පරිදි ශිෂ්‍ය කුසලතා වර්ධනය කිරීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන ඉලක්කයකි.
මෙම ගිවිසුම යටතේ උසස් දක්ෂතා මධ්‍යස්ථාන පිහිටුවීම, ගුරුවරුන් සඳහා නවීන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ Bosch Diesel Service (BDS) පහසුකම් ආයතනය වෙත හඳුන්වා දීමට නියමිතය. මෙමඟින් ජර්මන් ටෙක් ආයතනයේ පුහුණුව ලබන සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීමට මෙන්ම කාර්මික අංශයේ නවතම තාක්ෂණය සමඟ සම්බන්ධ වීමට ද අවස්ථාව උදා වේ.














