පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නායියර් නසීර් (Nayyar Naseer) මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර නිල හමුවක් පසුගියදා (05) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය ආරම්භ කළ මහ කොමසාර්රිස්වරයා වෙත ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සිය සුබපැතුම් පිරිනැමීය.
දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉහළ නැංවීම, දෙරටේ සන්නද්ධ හමුදා අතර පුහුණු කටයුතු හුවමාරු කර ගැනීම සහ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දීර්ඝකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි කටයුතු සඳහා සමීපව සහයෝගයෙන් කටයුතු කරන බව මෙහිදී නායකයන් දෙපළ අවධාරණය කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් (Zunaira Latif) මහත්මිය සහ පාකිස්තාන ආරක්ෂක උපදේශකවරයා ද සහභාගී වූහ. මෙම හමුව මඟින් දකුණු ආසියානු කලාපය තුළ ආරක්ෂක හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














