දකුණු පළාතේ ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාලයක් වන බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ගුරු පුරප්පාඩු 29ක් පවතින බවත්, ඉන් විෂයන් 14ක් සඳහා කිසිදු ගුරුවරයෙකු නොමැති බවත් වාර්තා වේ.
සිසුවියන් 2,700කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන මෙම ජාතික පාසලේ විෂයන් 22ක ගුරු පුරප්පාඩු පවතී. උසස් පෙළ අංශයේ පමණක් කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සන්නිවේදනය, ජපන් භාෂාව, ඉතිහාසය සහ තොරතුරු තාක්ෂණය යන විෂයන් සඳහා කිසිදු ගුරුවරයෙකු නැත. ප්‍රාථමික අංශයේ ඉංග්‍රීසි විෂය සඳහා ද ගුරුවරුන් නොමැති අතර විද්‍යාව, සිංහල සහ ඉංග්‍රීසි වැනි ප්‍රධාන විෂයන් සඳහා ද පවතින්නේ උග්‍ර ගුරු හිඟයකි.
පසුගිය 2025 උසස් පෙළ විභාගයෙන් සිසුවියන් 37 දෙනෙකු විශ්වවිද්‍යාල වරම් ලබා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති පසුබිමක මෙම ගුරු හිඟය පැවතීම විශේෂත්වයකි. අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කිහිපවරක් දැනුම් දුන්නද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බව විද්‍යාලයීය ආරංචි මාර්ග පවසයි.
බද්දේගම අධ්‍යාපන අධ්‍යක්ෂිකා තුෂාරි පතිනායක මහත්මිය සඳහන් කළේ, මීට පෙර පළාත් සභාවේ අතිරික්ත ගුරුවරුන් ජාතික පාසල් වෙත අනියුක්ත කළ ද, වර්තමානයේ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය අවශ්‍ය වීම නිසා එම ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවයි. මේ හේතුවෙන් ගුරු අනියුක්ත කිරීම් නතර වී ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.














