දිවයින පුරා පවතින දැඩි වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය, ලුණුගම්වෙහෙර සහ රාජාංගනය යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ යාම නිසා අද (09) පෙරවරුවේ සිට ඒවායේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 3 බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 8,400ක ජල කඳක් ඔයට මුදාහැරේ. ලුණුගම්වෙහෙර ජලාශයේ ද වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 2,915ක් මුදාහැරෙන බැවින් කිරිඳි ඔය පරිහරණය කරන ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මීට අමතරව රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,542ක ජල ප්‍රමාණයක් කලාඔය දෙසට මුදාහැරීමට කටයුතු කර ඇත. මෙම තත්ත්වය හමුවේ අදාළ ගංගා සහ ඔයවල් දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාව ඇතිවිය හැකි ගංවතුර අවදානම පිළිබඳව විමසිලිමත් විය යුතුය.
















