උගන්ඩාවේ ඇති බව පැවසූ ඩොලර් මෙරටට ගෙන ඒමට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් රජයට මහා භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් ටික පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බව කියන ඩොලර් ලක්ෂ 25ක මහා පරිමාණ වංචාව හුදෙක් අතපසුවීමක් ලෙස ආණ්ඩුවේ නායකයන් හැඳින්වීම හාස්‍යයට කරුණක් බවත් වගකිව යුතු රජයක් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම ලැජ්ජා සහගත බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඇවිදින පුස්තකාල සහ නවීන තාක්ෂණික විසඳුම් ගැන පාරම්බාමින් බලයට පැමිණි පිරිසට රටේ ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානය වන භාණ්ඩාගාරය රැකගත නොහැකි වීම රටේ අවාසනාවක් බව ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දෙයි. මින් පෙර ගල් අඟුරු නැව් පිටින් ගිල දැමූ බවට චෝදනා ලැබූ පාලනයක් යටතේ මහා භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීම පුදුමයට කරුණක් නොවන බව ජනතාව පවසන බව ද හෙතෙම සඳහන් කළේය.
පවතින “L බෝඩ්” ආණ්ඩුවකින් මීට වඩා යහපත් දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවත් රටේ මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම අරාජික වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. භාණ්ඩාගාරයේ සිදු වූ මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් වහාම විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතු බව විපක්ෂයේ මතය වී තිබේ.













