මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම යනු හුදෙක් යටිතල පහසුකම් සැපයීම පමණක් නොව, ගුණාත්මක ඉගැන්වීම් අන්තර්ගතයන් සහ ගුරු පුහුණුව මෙන්ම විධිමත් සැලැස්මක එකතුවක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජාත්‍යන්තර රොටරි සමාජය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය පෙන්වා දුන්නේ, ස්මාර්ට් පන්තිකාමර යනු යූටියුබ් වීඩියෝ නැරඹීමට පමණක් සීමා වූ තැන් නොවිය යුතු බවයි. ඒ වෙනුවට විෂය නිර්දේශයට අදාළ ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් ‘ඊ-තක්සලාව’ වැනි රජයේ නිල පද්ධතියක් හරහා ලබාදීම සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මූලික කරගනිමින් වාර්ෂිකව ගුරු සිසුන් 6,000ක් තාක්ෂණයට හුරු කිරීම මගින් සැබෑ වෙනසක් ඇති කළ හැකි බව මෙහිදී සාකච්ඡා විය.
මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ ප්‍රථමයෙන් තෝරාගත් පාසල් 100ක් සඳහා සුහුරු පන්තිකාමර ඉදි කිරීමට නියමිත අතර, එහි මුල් අදියර ලෙස පාසල් 50ක් සඳහා පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය අධ්‍යාපනයට එක් කිරීමටත්, අවශ්‍ය වේදිකාවන් නොමිලේ සැපයීමටත් රොටරි සමාජය මෙහිදී එකඟතාව පළ කළ අතර, පාසල්වල විදුලි පිරිවැය සහ අන්තර්ජාල ගාස්තු වැනි ප්‍රායෝගික ගැටලු විසඳා ගනිමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය සැලසුම් කරයි. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත අධ්‍යාපන ක්ෂේත්‍රයේ පස් අවුරුදු ඩිජිටල් පරිවර්තන සැලැස්ම යටතේ මේ සියලු කටයුතු ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වයෙන් සියලු පියවර ගෙන ඇත.













