මෙවර යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය කිසිදු භෝගයකට පොහොර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ යල කන්නයට අවශ්‍ය පොහොර තොග මේ වන විටත් රට තුළ පවතින බවත් ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කාර්යක්ෂමව බෙදාහරිමින් පවතින බවත්ය.
රජයේ ඉල්ලීමක් මත තාවකාලිකව නතර කර තිබූ පෞද්ගලික අංශයේ පොහොර බෙදාහැරීමේ කටයුතු ද යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට තීරණය කර ඇති බැවින් ගොවීන්ට කිසිදු බාධාවකින් තොරව පොහොර සපයා ගැනීමට අවස්ථාව උදා වේ. ඇතැම් ප්‍රදේශවල පවතින සුළු ප්‍රමාදයන් කඩිනමින් විසඳීමට පියවර ගෙන ඇති අතර පොහොර සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ පතුරුවමින් ගොවි ජනතාව නොමඟ යවන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද රජය තීරණය කර තිබේ.
ඉදිරි මාස් කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා ද කැබිනට් අනුමැතිය මේ වන විටත් හිමිවී ඇති බැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව එම ආනයන කටයුතු සිදු කරමින් පවතී. නව පරම්පරාවේ පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ පස පරීක්ෂා කිරීමෙන් පසු අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොහොර යෙදවීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙමඟින් වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීමට සහ ගොවියාගේ අතිරික්ත වියදම් අවම කිරීමට අපේක්ෂා කෙරේ.














