ආරක්ෂිත වනසත්ව විශේෂවලට අයත් මුව සහ ගෝනු අං අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකුට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 150,000ක දඩයක් නියම කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද බුද්ධි තොරතුරකට අනුව, හික්කඩුව ජාතික උද්‍යාන මූලස්ථානය සහ බෙල්ලන්විල-අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් මැයි 02 වනදා කෝට්ටේ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී රුපියල් 200,000ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මුව සහ ගෝනු අං තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩය නියම විය. වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ආරක්ෂිත වනසතුන්ගේ ශරීර කොටස් ළඟ තබා ගැනීම, ප්‍රවාහනය, ප්‍රදර්ශනය හෝ අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙවැනි නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් තොරතුරු පවතී නම් 1992 හදිසි ඇමතුම් අංකය හරහා දැනුම් දෙන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.













