ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 6 වන අදියර සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේදී ‘අයිකන්’ (Icon) සහ ‘ස්ටාර්’ (Star) කාණ්ඩයේ ක්‍රීඩකයන්ට පනවා තිබූ ආන්දෝලනාත්මක සමාජ මාධ්‍ය අනුගාමිකයන්ගේ සංඛ්‍යාත්මක සීමාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මැයි 08 වනදා නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වූයේ මෙම කාණ්ඩවල ක්‍රීඩකයන්ට අවම වශයෙන් ලක්ෂ 2.5කට අධික සමාජ මාධ්‍ය අනුගාමිකයන් පිරිසක් සිටිය යුතු බවයි. කෙසේ වෙතත්, ක්‍රිකට් ප්‍රජාවගෙන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ අද (මැයි 09) නිකුත් කළ නවතම සංශෝධිත මාර්ගෝපදේශ මාලාවෙන් එම කොන්දේසිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය වෙනුවට අන්තර්ජාලයේ පවතින ජනප්‍රියත්වය මත පදනම්ව මෙලෙස කාණ්ඩ වෙන් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කළහ. විශේෂයෙන්ම මීට පෙර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍යවලින් ඈත්ව ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන් ක්‍රිකට් ආයතනයම මෙවැනි නීතියක් ගෙන ඒම හාස්‍යයට කරුණක් බව විචාරකයෝ පෙන්වා දුන්හ. නව සංශෝධනයට අනුව අනුගාමිකයන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට නොගත්ත ද, ජාත්‍යන්තර 20යි 20 අත්දැකීම් සහ දක්ෂතාවයන් මත පදනම්ව ක්‍රීඩකයන් තෝරාගැනීම සිදුවනු ඇත. කෙසේ වෙතත්, තරගාවලිය ප්‍රචාරණය කිරීමේ අරමුණින් ක්‍රීඩකයන් විසින් සිදුකළ යුතු සමාජ මාධ්‍ය සටහන් සහ ප්‍රවර්ධන කටයුතු පිළිබඳ කොන්දේසි තවදුරටත් නොවෙනස්ව පවතී.














