තායිවානයේ ආරක්ෂක වියදම් සඳහා වෙන් කිරීමට යෝජනා වූ අතිරේක ප්‍රතිපාදන එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රමාද කිරීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. ඇමරිකාව පෙන්වා දෙන්නේ මෙම පියවර චීනයට ලබාදුන් “සහනයක්” (Concession) වැනි බවයි. තායිවාන ජනාධිපති ලායි චිං-තේ විසින් චීන තර්ජන හමුවේ එරට ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 40ක අතිරේක ආරක්ෂක වියදම් පැකේජයක් ඉල්ලා සිටියද, විපක්ෂය සතු බහුතර බලය සහිත පාර්ලිමේන්තුව විසින් ඉන් අනුමත කර ඇත්තේ තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණි.
චීනය විසින් තායිවානය සිය භූමියක් ලෙස සලකමින් මෑත කාලීනව එරටට එල්ල කරන හමුදාමය පීඩනය දැඩි කර ඇති පසුබිමක, මෙම ආරක්ෂක ව්‍යාපෘති ප්‍රමාද වීම තායිවානයේ ස්වෛරීභාවයට තර්ජනයක් විය හැකි බව ඇමරිකාව අවධාරණය කරයි. තායිවානයේ ප්‍රධානතම ජාත්‍යන්තර මිත්‍රයා වන ඇමරිකාව පෙන්වා දෙන්නේ, ආරක්ෂක වියදම් කප්පාදු කිරීම හරහා චීනය පලවා හැරීමට ඇති හැකියාව දුර්වල වන බවයි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ ව්‍යාපෘති හේතුවෙන් එරට ආරක්ෂක වැඩපිළිවෙළට එල්ල වන බලපෑම පිළිබඳව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට කරුණු පැහැදිලි කරමින් සිටියි.














