මෙරට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය මැයි මස 11 වනදා පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින්, දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේදීත් එලෙසම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම අද දිනයේ පස්වරු කාලයේදී බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ ඉතා තද වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මීට අමතරව බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවල දැක්වේ. පවතින වැසි සහිත තත්ත්වයත් සමඟ ප්‍රබල අකුණු අනතුරු පිළිබඳව ද අවධානය යොමු කළ යුතු අතර, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාව ප්‍රවේශම් විය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.














