මිහිපිට දෙවිවරුන් ලෙස රෝගීන්ගේ සුවපත පිණිස නිබඳව කැපවෙන වෛද්‍යවරුන් අතර, කොළඹ ජාතික රෝහලට ආලෝකයක් වූ සුවිශේෂී වෛද්‍යවරයෙකුගේ සමුගැනීම දරාගත නොහැකි ශෝකයක් ජනිත කර තිබේ. රෝගීන් වෙනුවෙන් තමන්ගේ විවේකය පවා පසෙක ලා, අසීමිත කැපවීමකින් කටයුතු කළ වෛද්‍ය සඳුන් පුලස්ති මහතාගේ හදිසි අභාවය හේතුවෙන් සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයම මෙන්ම ඔහුගෙන් සුවය ලැබූ රෝගීහුද දැඩි කම්පනයකට පත්ව සිටිති.
තමන් හමුවට පැමිණෙන සෑම රෝගියෙකුටම පීතෘ සෙනෙහසින් සහ කරුණාවෙන් සංග්‍රහ කළ නිසාම ඔහු හැමෝගෙම ආදරය දිනා සිටියේ “හිතහොඳ දොස්තර” යන විරුදාවලිය ද සමඟිනි. නිතරම කාර්යබහුල වූ ජාතික රෝහල් පරිශ්‍රයේ ඔහුගේ නිහතමානී සිනහව සහ මානුෂීය ගුණය රෝහල් පද්ධතියටම මහත් ශක්තියක් විය. මෙතරම් වේලාසනින් ඔහු මෙලෙස ජීවිතයෙන් සමුගැනීම පිරිමැසිය නොහැකි පාඩුවක් බවත්, එවන් උදාර මිනිසෙකුගේ අඩුව රෝහල් ක්ෂේත්‍රය තුළ සැමදා දැනෙනු ඇති බවත් ඔහුගේ සමීපතමයෝ පවසති.














