පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එක් වාන් දොරටුවක් අඩි හතර බැගින් විවෘත කර ඇති අතර, එමගින් තත්ත්පරයට ඝන අඩි 11,100ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට මුදාහැරෙමින් පවතී. ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර ඔය දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු උපදෙස් දෙති.
මීට අමතරව අද පස්වරුවේ රාජංගනය ජලාශයේ ද වාන් දොරටු අටක් විවෘත කිරීමට කටයුතු කර තිබේ. එහිදී වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද, තවත් දොරටු හතරක් අඩි තුන බැගින් ද, ඉතිරි දොරටු දෙක අඩි දෙක බැගින් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ හරහා තත්ත්පරයට ඝන අඩි 8,113ක ජල ප්‍රමාණයක් කලාඔයට නිකුත් කෙරෙන බැවින්, අවට පදිංචි ජනතාව ජල මට්ටම ඉහළ යාම පිළිබඳව විමසිලිමත් විය යුතුය. ඉදිරි දින කිහිපයේදී ද වැසි තත්ත්වය පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් ආපදා තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය පූර්ව සූදානමින් සිටින ලෙස වාරිමාර්ග බලධාරීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.














