ශ්‍රී ලංකාව තුළ යුරෝපා සංගමයේ ආයෝජන වර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව යුරෝපා සංගම් විශේෂ නියෝජිත මාරියා කැස්ටිලෝ මහත්මිය සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අද දින කොළඹදී පැවති මෙම හමුවේදී ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික වැදගත්කම මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව, ගෝලීය සම්බන්ධතා සහ වෙළඳාම යන ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය, හරිත බලශක්තිය සහ සම්බන්ධතා ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මෙරට තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ ඇති වැදගත්කම යුරෝපා සංගම් නියෝජිතවරිය මෙහිදී අවධාරණය කළාය.
එමෙන්ම මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව, සංචාරක ව්‍යාපාරය සහ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු විය. නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවට GSP+ සහනය නැවත ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. නීතියේ ආධිපත්‍යය, යහපාලනය සහ මානව හිමිකම් සුරැකීම සඳහා රජය දක්වන අඛණ්ඩ කැපවීම මෙහිදී යළිත් තහවුරු කෙරුණු අතර, අද දිනට යෙදී ඇති යුරෝපීය දිනය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සුබ පැතුම් ද එක් කළේය.














