දෙවන ලෝක යුද්ධයෙන් නාසි ජර්මනිය පරාජය කර ලබාගත් ජයග්‍රහණය සැමරීම සඳහා රුසියාවේ මොස්කව් නුවර රතු චතුරශ්‍රයේ පැවැත්වෙන වාර්ෂික විජයග්‍රාහී දින පෙළපාලිය මෙවර ඉතා චාම් අයුරින් පවත්වා තිබේ. යුක්රේනයෙන් එල්ල විය හැකි ප්‍රහාරයන් පිළිබඳ පවතින දැඩි අවදානම හේතුවෙන් මෙවර පෙළපාලිය සඳහා ටැංකි හෝ වෙනත් බර යුද උපකරණ රතු චතුරශ්‍රයට රැගෙන නොපැමිණි අතර ඒ වෙනුවට දැවැන්ත රූපවාහිනී තිර හරහා රුසියාව සතු නවීනතම අවි ආයුධ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණි. වසර හතරකට අධික කාලයක් තිස්සේ ඇදෙන යුක්රේන යුද්ධයේ පීඩනය මොස්කව් නගරය පුරා දැඩිව දැනෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ඓතිහාසික සැමරුම අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ප්‍රකාශ කළේ නේටෝ සංවිධානයේ පූර්ණ සහාය ලබන ආක්‍රමණශීලී බලවේගයකට එරෙහිව රුසියානු සෙබළුන් අභීතව සටන් වදින බවයි. ජනාධිපති පූටින් සිය අට මිනිත්තුවක කතාවේදී යුක්රේන යුද්ධයේ ජයග්‍රහණය රුසියාව සතු වන බවට යළිත් සහතික විය. විශේෂයෙන්ම රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයේ යුක්රේනයට එරෙහිව සටන් වැදුණු උතුරු කොරියානු සෙබළුන් ද මෙවර පෙළපාලියට එක්ව සිටීම ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානයට ලක් විය. මොස්කව් නුවර පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට රුසියානු ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබුණි.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේන යුද්ධය සඳහා ප්‍රකාශයට පත් කළ තෙදින සටන් විරාමය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සඳහා රුසියාව සහ යුක්රේනය යන දෙපාර්ශවයේම සහාය හිමිවී තිබේ. දෙපාර්ශවය අතර සිරකරුවන් දහසක් හුවමාරු කර ගැනීමට ද මෙහිදී එකඟතාවය පළ වී ඇත. මෙම සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ට්‍රම්ප් වොෂින්ටනයේදී ප්‍රකාශ කළේය. වසර හතරකට පසු රුසියානු ආර්ථිකයට සහ දේශපාලන ස්ථාවරත්වයට මෙම යුද්ධය මගින් එල්ල කර ඇති බලපෑම හමුවේ මෙවැනි සටන් විරාමයන් ජාත්‍යන්තර වශයෙන් ඉතා තීරණාත්මක වනු ඇත.














