තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලන ඉතිහාසයේ දැවැන්තම වෙනස සනිටුහන් කරමින් සුපිරි නළු තලපති විජේ හෙට (10) පෙරවරු 10.00 ට නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය ප්‍රමුඛ සන්ධානය ප්‍රාන්ත රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය නිල වශයෙන් තහවුරු කර ගැනීමත් සමඟ පවතී දේශපාලන අවිනිශ්චිතතාව නිමාවට පත්ව ඇත. මෙම ඓතිහාසික අවස්ථාව දැකබලා ගැනීම සඳහා තමිල්නාඩුව පුරා සිටින ඔහුගේ ලක්ෂ සංඛ්‍යාත රසිකයින් සහ ආධාරකරුවන් මේ වන විටත් සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ තමිල්නාඩුව තුළ ප්‍රථම වරට හවුල්කාර පාලනයක් බිහිවීම විශේෂත්වයක් වන අතර රජයක් පිහිටුවීමට අවශ්‍ය වූ මන්ත්‍රී ආසන 118 සීමාව සපුරා ගැනීම සඳහා විජේගේ පක්ෂයට දැඩි අභියෝගයක් එල්ල විය. කෙසේ වෙතත් විඩුදලෙයි චිරුතයිගල් කච්චි (VCK) පක්ෂය සහ ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගය (IUML) යන පක්ෂ දෙක සිය කොන්දේසි විරහිත සහාය ලබා දීමට තීරණය කිරීමත් සමඟ සන්ධානයේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගියේය. මෙම තීරණය ප්‍රාන්තයේ ස්ථාවර සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තහවුරු කිරීම වෙනුවෙන් ගත් තීරණයක් බව එම පක්ෂ සඳහන් කර තිබේ.
හෙට පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවයේදී තලපති විජේ සමඟ තවත් මන්ත්‍රීවරුන් නව දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිතව ඇති අතර එම කැබිනට් මණ්ඩලයේ සංයුතිය පිළිබඳව ද මේ වන විට දැඩි කුතුහලයක් නිර්මාණය වී ඇත. දශක කිහිපයක් පුරා තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ ප්‍රධාන පක්ෂ පරාජයට පත් කරමින් සිනමා තරුවක් ප්‍රාන්තයේ ඉහළම ධුරයට පත්වීම කලාපීය දේශපාලනයට නව මානයක් එක් කරනු ඇතැයි විචාරකයෝ පවසති. නව රජයේ ඉදිරි සැලසුම් සහ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන ආකාරය පිළිබඳව ලොව පුරා වෙසෙන දමිළ ජනතාව දැඩි අවධානයෙන් පසුවෙති.














