හොලිවුඩ් සිනමාවේ අමරණීය තරුවක වන මැරිලින් මොන්රෝගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන එළඹෙන ජූනි මස 01 වැනිදා ඇයගේ අතිශය පෞද්ගලික භාණ්ඩ එකතුවක් වෙන්දේසි කිරීමට Heritage Auctions ආයතනය කටයුතු යොදා තිබේ. ඇයගේ සමීපතම මිතුරන් වූ නෝමන් සහ හෙඩා රොස්ටන් සතුව තිබූ මෙම එකතුවට ඇඳුම් පැළඳුම්, ආභරණ, ඇය විසින්ම ලියන ලද සටහන්, සිතුවම් සහ කවි ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෙන්දේසියේදී මෙතෙක් ලොවට රහසක්ව පැවති ලිපි ලේඛන රැසක් අනාවරණය වීමට නියමිත අතර, ඒවා මගින් මොන්රෝගේ ප්‍රේම සබඳතා, මානසික පීඩනය, දරු ගැබක් අහිමි වීම පිළිබඳ ඇය තුළ තිබූ බිය සහ මරණය පිළිබඳ ඇය කළ මෙනෙහි කිරීම් විදහා දැක්වේ. ඇයගේ එක් සුවිශේෂී සටහනක “මට දැනෙන්නේ මා ගිලෙමින් සිටිනවා වැනි හැඟීමක්” යනුවෙන් ලියා ජලයේ ගිලී යන රූපයක් ද ඇඳ ඇති බව වෙන්දේසි ආයතනය පෙන්වා දෙයි.
මීට අමතරව ඇයගේ හිටපු සැමියෙකු වූ ආතර් මිලර් එවන ලද ලිපි මෙන්ම ඇය මිය යාමට පෙර දින කිහිපය පිළිබඳ ඇගේ මනෝ වෛද්‍යවරයා ලියූ මෙතෙක් අනාවරණය නොවූ ලිපියක් ද මෙහි අඩංගු වේ. 1926 දී උපත ලබා 1950 දශකයේ ලොව සුප්‍රකටම නිළිය බවට පත් වූ මැරිලින් මොන්රෝ, 1962 වසරේදී වයස අවුරුදු 36 ක්ව තිබියදී නිදි පෙති අධිමාත්‍රාවක් (Overdose) හේතුවෙන් මියගිය අතර ඇයගේ මරණය අදටත් අබිරහසක් ලෙස සැලකේ.














