වසර 15ක් පුරා පැවති මමතා බැනර්ජිගේ පාලනය පරාජයට පත් කරමින්, බටහිර බෙංගාල ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ (BJP) සුවෙන්දු අධිකාරි ඊයේ (09) දිවුරුම් දුන්නේය. කොල්කටා නුවර පැවති මෙම ඓතිහාසික දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද සහභාගී වූහ.
ආසන 294 කින් සමන්විත බටහිර බෙංගාල ප්‍රාන්ත සභාවේ ආසන 207ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වූ අතර, මමතා බැනර්ජිගේ තෘණමූල් කොංග්‍රසයට හිමිවූයේ ආසන 80ක් පමණි. මැතිවරණ දූෂණ චෝදනා එල්ල කරමින් මමතා බැනර්ජි බලය අත්හැරීම මුලදී ප්‍රතික්ෂේප කළද, ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් නව රජය පිහිටුවීමට මග පෑදුණි. මමතා බැනර්ජිගේ සමීපතම ගෝලයෙකු ලෙස දේශපාලනය ආරම්භ කළ 55 හැවිරිදි සුවෙන්දු අධිකාරි, බෙංගාලයේ පිහිටුවූ පළමු BJP රජයේ නායකයා ලෙස ඉතිහාසයට එක්වේ.














