කොළඹ වරායට නුදුරු මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඊයේ (09) උදෑසන සොයාගෙන තිබේ. වරාය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
පොලිස් වාර්තාවලට අනුව මියගිය පුද්ගලයා උස අඩි 05යි අඟල් 06ක් පමණ වන අතර, කොටට කැපූ කොණ්ඩයක් සහ වැවී ඇති රැවුලකින් යුක්ත වේ. මියයන අවස්ථාවේ ඔහු කළු පැහැති කොට කලිසමකින් සහ දුඹුරු පැහැති කමිසයකින් සැරසී සිට ඇත. දැනට මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොළඹ වරාය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














