පසුගිය වසරේ ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditva) සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියාව ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට දෙරටේ එකඟතාව පළ වී තිබේ. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.
මෙම සහන පැකේජය අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පහසුකම්වලින් සහ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදානයන්ගෙන් සමන්විත වේ. පසුගිය වසරේ නොවැම්බර් මස බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරට පුද්ගල මරණ 640 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර මිලියන 3 ක ජනතාවක් පීඩාවට පත් විය. එම අවස්ථාවේදී ඉන්දියාව විසින් ‘සාගර් බන්දු’ මෙහෙයුම හරහා වහාම සහන සේවා සැපයූ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාගේ සංචාරය අතරතුර මෙම මූල්‍ය පැකේජය ප්‍රකාශයට පත් කරන ලදී.
ප්‍රතිසංස්කරණ කටයුතුවලට අමතරව නිවාස, සෞඛ්‍ය, ජලය සහ තාක්ෂණික ක්ෂේත්‍රවල දැනට ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය. මීට අමතරව නවීන මූල්‍ය රාමු සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගත් බව මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














