ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව තරුණියන් තිදෙනෙකු යතුරුපැදියක ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ බුත්තල පොලිස් ස්ථානය මගින් සිදු කළ විමර්ශනයකින් අදාළ තරුණියන් සහ යතුරුපැදියේ අයිතිකාරිය හඳුනාගෙන තිබේ. මොවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් බව අනාවරණය වී ඇත.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ යතුරුපැදිය පැදවූ 23 හැවිරිදි තරුණියට වලංගු රියැදුරු බලපත්‍රයක් ද නොමැති බවයි. ඒ අනුව වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය, ආරක්ෂිත හිස්වැසුම් නොමැති වීම, නියමිත සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යාම සහ අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ පැදිකාරිය හෙට (11) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව රියැදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට සිය වාහනය ලබා දීම සම්බන්ධයෙන් යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකාරියට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි. බුත්තල පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














