එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරන පාක්ෂිකයන් ගම් මට්ටමින් එකතු වී සිටියද, පක්ෂ දෙකේ නායකයන් නිල වශයෙන් එකතු වන තෙක් එය සාර්ථක සන්ධානයක් නොවන බව එජාප උප සභාපති, මහනුවර දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා පවසයි. පක්ෂ දෙකක් නිල වශයෙන් එකතු වීම සඳහා විශේෂ යන්ත්‍රණයක් අවශ්‍ය බවත්, එය කුමක්ද යන්න සම්බන්ධයෙන් දැනට සාකච්ඡා වෙමින් පවතින බවත් මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේය. ආණ්ඩුව පරාජය කිරීම සඳහා පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද අත්‍යවශ්‍ය වන බැවින් නායකයන්ගේ එකතුවීම තීරණාත්මක බව ඔහු පෙන්වා දුන්නේය.
එජාපය සහ සජබය එකතු විය යුතු බවට ගම් මට්ටමින් පාක්ෂිකයන් තුළ පැහැදිලි හැඟීමක් පවතින බවත්, එය නිල වශයෙන් සිදු විය යුතු බවත් නවීන් දිසානායක මහතා අවධාරණය කළේය. “එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ 15ක් පමණ නිවෙස්වලට වී සිටින්නේ ජයග්‍රහණයක් නොපෙනෙන නිසයි. සමගි ජන බලවේගය ද එය පිළිගත යුතුයි. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී ලැබුණු මිලිියන 4.2 ක ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයේදී සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අඩු වුණා. මේ දෝලනය වන්නේ එජාප ඡන්දයි,” යැයි ඔහු පැවසීය. පැරණි එජාප කාරයෝ ලක්ෂ තිස් පහක් පමණ සිටින බවත්, තනිවම ආණ්ඩුව පරාජය කළ හැකි බවට කිසිවෙකු නොසිතිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කිරීම සඳහා ලබන මාසයේ සිට නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත්, අලුත් සංවිධායකවරුන් පත් කරන බවත් දිසානායක මහතා පැවසීය. කැඩී ගිය පිරිස් එකතු කර ගනිමින් නව දේශපාලන ගමනකට ලෑස්ති වන බවත්, දූෂිත පුද්ගලයන් පක්ෂයට ළං කර නොගත යුතු බවත් ඔහු අවධාරණය කළේය. රටේ බඩු මිල දිනෙන් දින ඉහළ යන බවත්, ආණ්ඩුවට ආර්ථික කළමනාකරණය හෝ පොදු සංවර්ධන වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු චෝදනා කළේය. “රනිල් වික්‍රමසිංහ මහතා විශාල දර්ශනයක් ඇති නායකයෙක්. ඔහු රටේ ආර්ථිකය වැටී තිබියදී එය ගොඩ ගත්තා. වත්මන් ආණ්ඩුවත් යන්නේ ඔහුගේ රාමුව තුළයි. ජනාධිපතිවරයා මැතිවරණයට පෙර දුන් VAT අඩු කිරීමේ පොරොන්දුව ඉටු කළේ නැහැ,” යැයි පවසමින් ඔහු ආණ්ඩුව විවේචනය කළේය.















