ඊයේ (10) දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි.
යටියන්තොට, කබුලුමුල්ල ප්‍රදේශයේදී කරවනැල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි පරුස්සැල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරා මියගොස් තිබේ. අනතුරින් එහි ගමන් කළ 14 හැවිරිදි පිරිමි දරුවෙකු තුවාල ලබා කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක ත්‍රීරෝද රථයක් පිටුපසින් පැමිණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් හෙම්මාතගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. ත්‍රීරෝද රථයේ රියදුරු පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තෙවැනි අනතුර වාර්තා වන්නේ බොරැල්ල, වෝඩ් පෙදෙසෙනි. එහිදී බොරැල්ල දෙසට ධාවනය වූ කාර් රථයක පදිකයෙකු ගැටීමෙන් 52 හැවිරිදි හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පොලිස් ස්ථාන මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.














