කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන කොස්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට පලායාමට ඉඩ සැලසීමේ චෝදනාව මත එම පොලිසියේම සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කොස්තාපල්වරයා සිර මැදිරියේ සිටි එක් සැකකරුවෙකුගේ බිරිඳකගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන ඇති බවයි. එම මුදල නඩු භාණ්ඩ ලෙස වාර්තා නොකර ඔහු සන්තකයේ තබාගෙන ඇති බව ද හෙළි වී තිබේ. සිද්ධිය වූ දින සැකකාර කොස්තාපල්වරයා සිර මැදිරියේ යතුර ලබාගෙන සැකකරුවන් පිටතට ගෙන ප්‍රකාශ සටහන් කර ඇති අතර, පසුව ඔවුන් නැවත සිර මැදිරියට ඇතුළු කළ ද එහි ඉබි යතුරු නිසියාකාරව දමා නොමැති බව පොලිසිය පවසයි.
පලා ගිය සැකකරුවන් දෙදෙනා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් නැවත අත්අඩංගුවට ගෙන ඇති අතර, රාජකාරිය පැහැර හැරීම සහ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වීම යටතේ අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතය.














