දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුව ඔහු මෙලෙස කොමිසම හමුවට පැමිණ තිබේ.
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ විලී ගමගේ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම පසුගිය 05 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි. ඒ අනුව විලී ගමගේ මහතා අද දිනයේ කොමිසම හමුවට පැමිණි අතර, හිටපු ජනාධිපතිවරයා හෙට (12) දිනයේදී කොමිසම හමුවට පැමිණීමට නියමිතය. ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.














