කුලී හෝ බදු පදනම මත ලබාදෙන නිවාස සහ වාණිජ ගොඩනැඟිලි තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචා ඉහළ යාම හේතුවෙන් දේපළ හිමිකරුවන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. විශේෂයෙන්ම විදේශීය ජාතිකයන් රහසිගතව රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා පිළිබඳව පසුගිය වසරේ සහ 2026 වර්ෂයේ මේ දක්වා කාලය තුළ වැඩි වශයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි. මෙවැනි අපරාධ සඳහා තම දේපළ යොදා ගැනීම වැළැක්වීම පිණිස පොලිසිය දේපළ හිමිකරුවන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
දේපළ කුලී පදනම මත ලබාදීමේදී එම පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ ඔවුන් එම පරිශ්‍රය ලබාගන්නා සැබෑ අවශ්‍යතාව පිළිබඳව මනාව සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. පොලිස් ආඥා පනතේ 76 වැනි වගන්තිය අනුව, නිවාස හිමිකරුවන් සිය පවුලේ සාමාජිකයන්, සේවකයන් සහ තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු අදාළ පොලිස් ස්ථානයට ලබාදීමට බැඳී සිටියි. පදිංචිකරුවන් අලුතින් පැමිණීම හෝ පිටව යාම සිදුවන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ යුතු අතර, එසේ නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. සැකකටයුතු පුද්ගලයන් හෝ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලද වහාම 118, 119 හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය දේපළ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. නොදැනුවත්කම හේතුවෙන් තම දේපළ අපරාධකරුවන් අතට පත්වීමෙන් හිමිකරුවන්ට ද බරපතළ නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බැවින්, කුලී පදනමට ලබාදීමේදී ඉහළ වගකීමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.














