විදුලි ජනන වියදම ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තු 18%කින් වැඩි කිරීමට තීරණය කළද, එහි බලපෑම සමස්ත ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් 4.06%කට පමණක් සීමා වන බව බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. විදුලි ජනනය සඳහා වැයවන පිරිවැය රුපියල් මිලියන 77,432 සිට මිලියන 104,449 දක්වා රුපියල් මිලියන 27,016කින් ඉහළ යාම මෙම තීරණයට හේතු වී ඇත. මැදපෙරදිග යුද තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ යාම, ජල විදුලි ජනනයට අවශ්‍ය වර්ෂාව නිසි පරිදි නොලැබීම සහ නැප්තා සඳහා වන පිරිවැය ඉහළ යාම මෙලෙස පිරිවැය වැඩි වීමට බලපා තිබේ.
ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 79ක් අතරින්, ඒකක 180ට අඩුවෙන් පරිභෝජනය කරන ලක්ෂ 64කට අධික පාරිභෝගික පිරිසකට මෙම මිල වැඩිවීම බලපාන්නේ නැත. එසේම ඒකක 180ට අඩුවෙන් පරිභෝජනය කරන ආගමික සිද්ධස්ථාන, කර්මාන්ත සහ හෝටල් ක්ෂේත්‍ර සඳහා ද මෙම මිල ඉහළ දැමීම අදාළ නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ මූල්‍ය අලාභයන් මෙම මිල සූත්‍රයට ඇතුළත් කර නොමැති අතර, එම අලාභයන් අදාළ සමාගම්වලින් අය කර ගැනීමට පියවර ගෙන ඇත. එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා නැවත විදුලි බිල ඉහළ දැමීමක් සිදු නොවන බවට ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.














