අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ චීන සංචාරයට අදාළ නිශ්චිත විධිවිධාන සහ චීනයේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය අද (11) නිල වශයෙන් කරුණු පැහැදිලි කළේය. අමාත්‍යාංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් (Guo Jiakun) මහතා සඳහන් කළේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව ජනපති ට්‍රම්ප් ලබන 13 වනදා සිට 15 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බවයි.
මෙය වසර නවයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරය වන අතර, පසුගිය ඔක්තෝබර් මාසයේ බුසාන්හි පැවති හමුවෙන් පසු රාජ්‍ය නායකයන් දෙපළ හමුවන දෙවන අවස්ථාව මෙය වේ. ලෝක සාමය, සංවර්ධනය සහ චීන-අමෙරිකානු ද්විපාර්ශ්වික සබඳතා වැනි වැදගත් කරුණු පිළිබඳව මෙහිදී ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිතය. ලොව පවතින අස්ථාවරත්වයන් හමුවේ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය සහ ප්‍රතිලාභ මත පදනම්ව අමෙරිකාව සමඟ සහයෝගීතාව පුළුල් කර ගැනීමට චීනය සූදානම් බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.














