ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී බිළිඳෙකු මියයෑමේ සිද්ධියට අදාළව දැනට සේවය අත්හිටුවා ඇති වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලා සිටියි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ පසුගිය මස 09 වනදා වෛද්‍ය වර්ජනයක් පැවති දිනක මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි. බිළිඳාගේ තත්ත්වය සම්බන්ධයෙන් වාට්ටුව භාර වෛද්‍යවරිය අවස්ථා හයකදී දුරකථනයෙන් දැනුවත් කළද අදාළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය ප්‍රතිචාර දක්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
අදාළ වෛද්‍යවරුන් දෙදෙනා රෝහලේ රාජකාරි වේලාව තුළ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ශල්‍යකර්මයකට සහභාගී වී ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත. රාජකාරි පැහැර හැරීම, දරු ප්‍රසූතියේදී බිළිඳාට අනතුරක් වීමට ඉඩ හැරීම, පෞද්ගලික සේවයේ නිරත වීම සහ රෝහල් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කිරීම යන චෝදනා මත මොවුන්ට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.














