උඩවලව ජලාශයෙන් පසුගිය මැයි 09 සහ 10 යන දින දෙක තුළ පමණක් කිලෝග්‍රෑම් 35,000කට අධික අතිවිශාල මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට ධීවරයින් සමත්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) පවසයි. මෙම මත්ස්‍ය අස්වැන්නෙහි මුළු වටිනාකම රුපියල් 10,909,393ක් ලෙස ගණන් බලා තිබේ.
බලන්ගොඩ ඇතුළු ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම වාර්තාගත අස්වැන්න ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත. මෙහිදී කැට්ලා කිලෝග්‍රෑම් 27,030ක්, මිරිගාල් කිලෝග්‍රෑම් 7,430ක් සහ තිලාපියා කිලෝග්‍රෑම් 1,009ක් වශයෙන් අස්වැන්න ලැබී ඇති අතර, ඉන් සැලකිය යුතු කොටසක් කරවල නිෂ්පාදනය සඳහා මීගමුව ප්‍රදේශය වෙත යැවීමට පියවර ගෙන ඇත.
මෙම අස්වැන්න හේතුවෙන් ප්‍රදේශයේ ධීවරයින් 313 දෙනෙකුට ඍජු ආර්ථික ප්‍රතිලාභ හිමි වූ අතර තවත් පුද්ගලයින් 1,650කට පමණ වක්‍ර රැකියා අවස්ථා උදා වී තිබේ. මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වසර තුළ උඩවලව ජලාශයට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 24ක් මුදා හැරීමට ද සැලසුම් කර ඇත.














