කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ නියෝජිත පිරිසක් ඉන්දීය පාර්ලිමේන්තු මන්දිරයේදී (ලෝක් සභාව) ඉන්දීය කතානායක ඕම් බිර්ලා මහතා හමුවූහ. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, මෙම හමුවීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ශිෂ්ටාචාරමය, සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී බැඳීම් තවදුරටත් පිළිබිඹු කරන්නක් බව කතානායක ඕම් බිර්ලා මහතා සිය X පණිවිඩයක් මගින් සඳහන් කර තිබේ.
සංවර්ධන කටයුතු සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හිදී කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ප්‍රවර්ධනය කිරීමේදී අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරිණි. දෙරට අතර ජනතා සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා වූ හවුල් කැපවීම මෙහිදී යළි තහවුරු වූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කරමින් පාර්ලිමේන්තු සංවාදයන් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ඉන්දීය කතානායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














