වැල්ලවාය – තණමල්විල මාර්ගයේ කිවුල්ආර ප්‍රදේශයේදී අද (12) සිදු වූ බරපතල රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. යතුරුපැදි දෙකක් සහ විදේශිකයින් පිරිසක් රැගත් මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව තණමල්විල පොලිසිය වාර්තා කරයි.
වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ යතුරුපැදියක්, වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගමන් කළ වෙනත් යතුරුපැදියක සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී ඇත. අනතුරට පත් මෝටර් රථය ඉන්දියානු ජාතිකයින් පිරිසක් රැගෙන ඇල්ල ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ එකක් බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් තුවාල ලබා ඇත්තේ උඩ මත්තල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් සහ 19 හැවිරිදි තරුණයෙක් මෙන්ම, කිවුල්ආර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි. තුවාලකරුවන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. තණමල්විල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.















