ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් පිහිටුවා ඇති ‘බුද්ධශාසන සභාව’ අද (12) බුද්ධශාසන අමාත්‍යාංශයේ දී රැස් විය. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සියලු නිකායන් නියෝජනය කරන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
මෙහිදී එළඹෙන ජාතික වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරීමට අදාළ මූලික සැලසුම් සකස් කිරීම සහ ආපදාවට ලක්වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ‘අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සිදු විය. බැතිමතුන්ගේ පහසුව සඳහා නිසි පිරිවිතරයන්ට අනුකූලව නිෂ්පාදනය කළ අටපිරිකරක් හඳුන්වා දීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම මෙන්ම ශාසනික විනය, භික්ෂු අධ්‍යාපනය සහ මත්ද්‍රව්‍ය ඇතුළු සමාජ ව්‍යසනයන් පාලනය කිරීම සඳහා විශේෂිත කමිටු මගින් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. සම්බුදු සසුනට එල්ල වන අභියෝග හමුවේ රාජ්‍ය මැදිහත්වීම තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශාසනික පුනරුදය උදෙසා එක්ව කටයුතු කිරීමටත් මෙහිදී එකඟතාව පළ වූ බව අමාත්‍යාංශය නිවේදනය කරයි.













