ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මැයි 15 සිට 20 දක්වා කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවල දින 05ක සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මැයි 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සිය සංචාරය ආරම්භ කරන අතර එහිදී ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් හමුවී බලශක්ති සහයෝගීතාවය ඇතුළු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඔහු නෙදර්ලන්තය (මැයි 15-17), ස්වීඩනය (මැයි 17-18), නෝර්වේ (මැයි 18-19) සහ ඉතාලිය (මැයි 19-20) යන රටවල සංචාරය කරනු ලබයි.
නෝර්වේ රාජ්‍යයේදී අග්‍රාමාත්‍යවරයා මැයි 19 වැනිදා පැවැත්වෙන ‘ඉන්දියා-නෝර්ඩික්’ (India-Nordic) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, ස්වීඩනය සහ නෝර්වේ යන රටවල නායකයින් සහභාගී වේ. මෙම සමුළුව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නෝර්වේ සංචාරය පසුගිය වසරේ මැයි මාසයට සැලසුම් කර තිබුණද ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම හේතුවෙන් එය අවලංගු විය. මෙම සංචාරය හරහා ශක්තිමත් දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථික සබඳතා මෙන්ම දෙරට අතර පවතින වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














